January 13, 2021

පංච ආනන්තරීය පාපකර්ම වල බරපතලකම - අවීචි මහා නිරය



 මෙම ලිපිය මං අහුලාගත්තේ, "ගරු පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප තෙරණුවන්ගේ", මුහුණු පොතෙන්!

--

ආනන්තරීය පාප කර්මයක් යම් කෙනෙක් අතින් සිදු වුණොත්, ඒ කෙනා නිරයේ යෑම වෙනස් කරන්නට කාටවත් හැකි වෙන්නේ නැහැ. ඒ නිසා එය නියත රාශියක් ලෙසට යි ධර්මයේ දැක්වෙන්නේ. ( මිච්ඡත්ත නියත රාශිය. ) ආනන්තරීය පාපකර්ම 5 ට ඒ නම ලැබිලා තියෙන්නේ මරණයෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙළින්ම අවීචි මහා නරකාදියෙහි උපදින නිසයි උදා :- දේවදත්ත හිමි. "ආනන්තරීය පාපකර්මය" කියද්දී අපි "ආනන්තරීය" කියන වචනය තෝරා ගන්න ඕන. ඒ තමයි අතරක් නැතුව නිරයට යනවා. ඒ කියන්නේ යම් ආත්මයක ආනන්තරීය පාපකර්මයක් සිදු වුණා ද එයාට අතරක් නෑ. ඒ කියන්නේ මරණින් මත්තේ දුගතියට නො යා සිටින පුංචි වෙලාවක්වත් නෑ.

පංචානන්තර්ය පාපයන්හි යෙදී දුගතියට පැමිණියවුන්ට යම් දවසක සුගතියකට පත් නොවිය හැකියි කියල කියන්න බෑ. මොකද භවය කියන එකේ සීමාවක් ඉමක් කොනක් නැහැ. නමුත් එතනින් ගොඩට එනවයි කියන එක සිතන්නත් අමාරු දෙයක්. ඉතා ඈත අතීතයේ මුගලන් මහ රහතන් වහන්සේගේ පෙර ජීවිතයක දී ආනන්තරීය පාපකර්මයක් සිද්ධ වුණා. ඒ හේතුවෙන් අතරක් නැතුව නිරයේ ගිහින් විපාක වින්දා. එතැනින් ඒ කර්මය විපාක දීලා අවසන් වුණා. කිසියම් විදියකට බුද්ධානුභාවයක් නිසා, තවත් බුදු කෙනෙකුගේ පහළ වීමක් නිසා වෙනසක් සිදු විය හැකියි. පංච ආනන්තරිය පාපයන් එකක් හෝ කල කෙනෙකුට මේ දිවියේ මාර්ග ඵල ලබන්නට බැහැ. යම් කෙනෙකුගේ අතින් පංච ආනන්තරීය කර්මයන්ගෙන් එකක්වත් සිදුවුණොත් එයාට කල්පයක් ඇතුළත සෝවාන් වෙන්නත් බෑ. සකෘදාගාමී වෙන්නත් බෑ. අනාගාමී වෙන්නත් බෑ. අරහත් වෙන්නත් බෑ. ඒ ආන්නතරීය පාප කර්ම කලොත් ඊලග භවය උරැමම අවීචියට තමයි.

නමුත් ශීලය කොයි තරම් ශක්තිමත් ද. ආන්නතරීය පාප කර්මයත් හොලවපු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. ඒ තමයි අජාසත්ත මහ රජතුමා. පියාව මැරැවා කල්‍යාණ මිත්‍රත්වය නැති නිසා. නමුත් බුදු සරණ ගිහින් ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සිල් ආරක්ෂා කරන්න තීරණය කරා. මේ ශාසනයේ අදටත් ධර්මය පවතින්න පළමු ධර්ම සංගායනාව කරන්න දිවි හිමියෙන් ශක්තිය දුන්නා. මේ වෙලාවේ සක් දෙව් රජතුමා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමීනී, මේ තරම් පින් කරන මිනිසෙක් මම දැකලා නෑ කියලා. කොයි තරම් පින් කලත් නිරයෙන්නම් නතර වෙන්න බෑ මේ අකුසලය. හැබැයි අවීචියෙන් නම් නිදහස් වුනා. දැනටත් අජාසත්ත මහ රජතුමා ඉන්නේ අපායේ. ඒ ඉන්නේ ලෝකුඹු මහා නිරයේ. අවීචියේ උපදින්නේ ආනන්තරීය පාප කර්මයක් කලොත්.අසංඛ්‍යය අසූ හය ලක්ෂ හත්ලිස් දහසක් ආයුෂ අවීචියේ දුක් විදින්නට වෙනවා. නමුත් ලෝකුඹු නිරයේ ආයුෂ අවුරැදු හැට දහසයි .අවුරැදු අසංඛ්‍යය අසූහය ලක්ෂ හතලිස් දහසක් විදින්න තිබුන දුක අවුරැදු හැට දහසකට කෙලවර කරනවා කියන්නේ දූවිලි අංශුවක් තරම් දුකක්. එහෙම ගොඩ ඇවිත් මෛත්‍රී බුදු පියාණන් පහල වෙන්න කලින් අජාසත්ත රජතුමා පසේ බුදු වෙලා පිරිණිවන් පානවා. මහා බලගතු සීලයකට පුළුවන්, මේ මහා කර්මය පවා හොලවන්නට.

(උපුටා ගත් වැදගත් දහම් ලිපියකි)

0 comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

Copyright © EnnLaw | Floating Leaves template designed by ennyLaw | eLaw's Design